top of page

බෙදී වෙන්වීම් ජයගැනීම සහ ක්‍රියාකාරී පුරවැසිභාවය (Active Citizenship) තුළින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම


මගේ නම දිව්‍යා ප්‍රශාන්ති (21), මම මීරියබද්ද 'රේන්බෝ ටීම්' Active Citizens කණ්ඩායමේ නායිකාව. අපගේ ගම්මානයේ නිරන්තරයෙන් දකින්න ලැබුණු ගැටලුවක් වූවා: කලෙයිමහල් වීදිය සහ කෝවිල් වීදිය යන වීදි දෙකක පදිංචිකරුවන් අතර දක්නට ලැබුණු ආතතියයි ඒ. වීදි දෙකම එකම මීරියබැද්ද ග්‍රාම නිලධාරී වසමට අයත් වුවත් දෙපිරිස අතර සුළු කාරණාවලට පවා නිතර ආරවුල් ඇති වූවා. මේවායේ මුල, දශක කිහිපයකට පෙර එක් වීදියක සිසුන්ට පමණක් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ගත් තීරණයක්. මෙය බොහෝ වැරදි වැටහීම් සඳහා ආරම්භක ලක්ෂ්‍යයක් වූ අතර, ආතතීන් ඇති කරවමින්, ප්‍රජා සාමාජිකයින් අතර සහජීවනය වැඩි කිරීමට සංවිධානය කළ ක්‍රියාකාරකම් වලදී දෙපාර්ශ්වයේම අඩු සහභාගීත්වයක් ඇති කිරීමටත් සමත් වූවා.


ආගමික කටයුතුවල හවුල් සහභාගිත්වය එවැනි එක් උදාහරණයක්. ආරවුල් උත්සන්න වූ නිසාම, වීදි දෙකටම පොදුවූ හින්දු කෝවිලට යාම පවා ගම්වාසීන් නැවැත්වූ අතර, එය අබලන් තත්වයට ඇදවැටුණි. ඒ වෙනුවට එක් වීදියක ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් තවත් කෝවිලක් ඉදිකරන ලදී.


වීදි දෙක අතර ඇති වූ ආතතීන් ප්‍රාදේශීය සංවර්ධනයට පවා බාධාවක් වූවා: මෑතකදී රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ගමේ ජල පද්ධතියට අදාළ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ විට, වීදි දෙකේ ප්‍රජාවන් අතර සහයෝගීතාවයක් නොතිබූ බැවින් සියලු කටයුතු නතර කර ඔවුන්ගේ ව්‍යාපෘතිය අවසන් කිරීමට සිදිවූවා. යුරෝපීය සංගමය විසින් අරමුදල් සපයන ‘ඵලදායි ආරවුල් නිරාකරණයට සහයවීම’ (SEDR) ව්‍යාපෘතිය හරහා විකල්ප ආරවුල් නිරාකරණයේ (ADR) පුහුණු වූ Active Citizens කණ්ඩායමක් ලෙස, අපි මෙය ගැටලුවක් ලෙස හඳුනා ගත්තෙමු : මෙම වීදි දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකරවීමට විශේෂිත මුලපිරීම් හරහා සමථකරණයේ යෙදීමට අපට අවශ්‍යතාවයක් තිබිණි.


එනමුත්, Active Citizens ලෙස අප ගිය ගමනට අභියෝගයන් නොතිබුණා නොවේ . කාලය කළමනාකරණය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය, පරස්පර විරෝධී අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයක් ලැබීම සහ දේශීය පාලනාධිකාරියෙන් අවශ්‍ය අවසර ලබා ගැනීම, ආදී මේ සියල්ල අපට එක්ව ජයගත යුතු බාධක ඉදිරිපත් කළේය. මෙම වගකීම් සමඟ මගේ රැකියාවද තුලනය කිරීම තවත් දුෂ්කරතා මතුකළ නමුත්, මම විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කිරීම සහ නායකත්වය ආදී නව කුසලතා වර්ධනය කර ගැනීම තුළින්, නොසැලී ඉදිරියට ගමන් කළෙමි.


කණ්ඩායමක් ලෙස, අපේ වයස සහ අප පැමිණි නොදියුණු ගම්මානය නිසා අපි වෙනස්කම්වලට මුහුණ දුන්නෙමු: නිලධාරීන් සහ බලධාරීන් මුලදී අපව බැරෑරුම් ලෙස පිළිනොගත් අතර, ප්‍රජා අවුල් නිරාකරණයට සම්බන්ධවීමට අපි තරුණ වැඩි බවත් නොවැදගත් බවත් සලකා අපෙන් තොරතුරු පවා වසන් කළහ. කෙසේ වෙතත්, මෙයින් මා අධෛර්යයට පත් නොවූ අතර ඌව පළාතේ SEDR හි හවුල්කාර සංවිධානයක් වන ඌව ශක්ති පදනමේ සහාය ඇතිව තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඉල්ලීමක් ඉදිරිපත් කළෙමි. මෙම සාර්ථක අභියාචනය, කණ්ඩායමක් ලෙස වීදි දෙකෙහිම පදිංචිකරුවන් සඳහා ජංගම පරිපාලන සේවාවක් සංවිධානය කිරීමට අපට උපකාරී වූ අතර; උප්පැන්න, මරණ සහ විවාහ සහතික වැනි වැදගත් ලියකියවිලි නොමැති ගම්වාසීන්ට ඒවා දිනක් ඇතුළත ලබා ගැනීමට හැකි විය. අවසානයේ අපගේ හැකියාවන් ගැන සැක පහළ කළ රාජ්‍ය නිලධාරීන්ම මෙම රාජ්‍ය සේවය සැමට ලබා දීමට අපට සහය වූ අතර, එය වීදි දෙකේම පදිංචිකරුවන්ට ප්‍රතිලාභ ලබා දුන් අතර දේශීය පාලනාධිකාරය කෙරෙහි වැඩි විශ්වාසයක් ගොඩනැගීමට දායක විය.


අපගේ නව ADR දැනුම සහ කුසලතා උපයෝගී කර ගනිමින්, අපි වීදි දෙකෙහිම ගම්වැසියන් ප්‍රජා සේවයේ යෙදීමට, එනම් නිශ්චිතව පවසනවානම්, 'කෝවිල් ශ්‍රමදාන' ව්‍යාපාරයකට එක්කර ගත්තෙමු. මීට පෙර අතහැර දැමූ කෝවිල එකමුතුවෙන් පිරිසිදු කිරීම සහ අනාගතයේදී එය නිසි ලෙස නඩත්තු කිරීම සහතික කිරීම මෙයට ඇතුල්වූ අතර - ගම්වාසීන්ට ඔවුනතර වෙනස්කම් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඒවා නොතකා ආගමික උත්සවවලට එකට සහභාගී වීමට, එය උපකාරී වේ. එහි සංවිධානාත්මක ව්‍යුහය වීදි දෙකෙහිම ගැමියන්ගෙන් එකසේ සමන්විත වන පරිදි, ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු අධීක්ෂණය කළ හැකි කෝවිල් කමිටුවක් පිහිටුවීමට ද අපි පියවර ගත්තෙමු.


අපේ මැදිහත්වීම් එතැනින් අවසන් වූයේ නැත. SEDR විසින් සපයන ලද Active Citizens පුහුණුව තුළින් ලද ගැඹුරු දැක්ම භාවිතයෙන්, අපේ ගමේ වෙනසක් සහ සාමය සඳහා උත්ප්‍රේරක ලෙස තරුණ ප්‍රජාව හඳුනාගෙන මෙම කටයුතුවලදී ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහතික කළෙමු. ක්‍රීඩාව අපගේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්වලට එක්කරගත් අතර අවසානයේ වීදි දෙකෙහිම තරුණියන් සහ තරුණයන් එකම කණ්ඩායමක එකට තරඟ කරන ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කළෙමු. මේ නිසාම, පසුගිය දිනක ක්‍රිකට් තරඟාවලි සඳහා සමස්ත මීරියබද්ද ගම්මානයම නියෝජනය කරමින් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීමට වීදි දෙකම එක්ව කටයුතු කළේය.


මෙම මුලපිරීම් තුලින්, වඩා හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් සහ විශ්වාසය ගොඩනැගීම තුළින් ප්‍රාදේශීය ගැටලු විසඳීම සඳහා අපි සමාජ නායකත්වය සහ ක්‍රියාකාරීත්වය යන සංකල්ප භාවිතා කළෙමු .


Active Citizens ලෙස මා හා මගේ කණ්ඩායම අපේ ගමේ යහපත් වෙනසක් ඇති කිරීමට සමත් වූ බව මා ආඩම්බරයෙන් පවසමි. අපගේ සාමූහික ප්‍රයත්නයන් විසින් කෝවිල් වීදිය සහ කලෙයිමහල් වීදිය අතර පැවති ආරවුල සමථයකට පත් කළා පමණක් නොව, තරුණ ප්‍රජාව ‘වෙනසේ නියෝජිතයන්’ බවට පත් කිරීමට ද බලගන්වන ලදී. Active Citizen කෙනෙකු ලෙස මගේම අත්දැකීම් අනුව, මගේ ප්‍රදේශයේ ප්‍රජාව තුළ කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට මගේම හැකියාවන් සහ කුසලතා භාවිතා කිරීමට මා දිරිමත් වී ඇත්තෙමි.


32 views0 comments
bottom of page