top of page

දිය දබරය ජය ගැනීම: කරුක්කාකුලම් ප්‍රදේශයේ වාරිමාර්ග ගැටළුවක් විසඳීමට ADR භාවිතා කිරීම

71 හැවිරිදි ආසිර්වාදම් සබරිමුත්තු ප්‍රදේශවාසීන් විසින් සහ වෘත්තීය වශයෙන් හඳුන්වනු ලබන්නේ කරුක්කාකුලම්[1] හි පිහිටි ඔහුගේ ගමේ ‘ගාම විතානෛයාර්’ නොහොත් ‘කුඹුරු නිලධාරියා’ ලෙසිනි. ඔහු තම බිරිඳ සහ මුණුබුරන් සමඟ මෙහි වාසය කරන අතර, SEDR හි හවුල්කාර සංවිධානයක් වන FIRM ආයතනය විසින් සිදු කරන ලද ව්‍යාපෘතියක සහභාගිවූවන් සහ එහි ප්‍රතිලාභීන්ගෙන් කෙනෙකි.

FIRM හි එක් මැදිහත්වීමක් කේන්ද්‍රගත වූයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අත්පත් කරගනිමින් ඔහුගේ වැටවල් දීර්ඝ කිරීමට එක් ගොවියෙකු ගත් තීරණයෙන් පැන නැගුන ප්‍රජා ආරවුලක් විසඳීම වටා ය. මෙම ක්‍රියාව හේතුවෙන් 2017 වසරේ සිට පහළට ගලා බසින ස්වාභාවික ජල ප්‍රවාහය අවහිරවී ඇති අතර, අසල්වැසි ගොවීන්ගේ කුඹුරුවලට නිසි ජලසැපයුමක් ලැබීමේ ඉඩ අහුරා ඇත. කාලයාගේ ඇවෑමෙන් ජලසම්පාදන මාර්ගය අබලන් වූ අතර, වරින් වර වෙනස් වන ජල සැපයුම හේතුවෙන් වේලානන්කුලම් වැවට යටත් වන කුඹුරු අක්කර 150 ක් පමණ අහිතකර ලෙස බලපෑමට ලක්විය. සබරිමුත්තුගේ වෘත්තියට අවට කුඹුරුවලට ජලය ගලා යාම පාලනය කිරීම අයත් වූ අතර, අසල්වැසි ගොවීන් තම කුඹුරුවලට ජලය ගලා යාමේ අඩුවක් හෝ අතිරික්තයක් ගැන දිගින් දිගට ඔහුට ඉදිරිපත්කළ පැමිණිලි රාශියක් නිසා ඔහු කලකිරීමට පත් විය.


බලෙන් අත්පත් කරගන්නා ලද ඉඩම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වූ නිසා ද දෙපාර්තමේන්තුව සහ අත්පත් කරගත් ගොවියා අතර ප්‍රශ්නය විසඳිය යුතු බැවින් ද, රාජ්‍ය නොවන පාර්ශවයන් අතර තනි ආරවුල් පමණක් විසඳීමට අවසර හිමි ප්‍රදේශයේ ප්‍රජා සමථ මණ්ඩලය වෙත ආරවුල ගෙන යා නොහැකි විය. මෙයින් ගම්‍ය වන්නේ, මෙම ගැටලුව අවසන් කිරීමට නම්, සම්පත්වලින් අඩු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුෂ්කර හා දීර්ඝ විධිමත් අධිකරණ ක්‍රියාපටිපාටියකට භාජනය විය යුතු බවයි. ඒ නිසාම, 2017 සිට මෙයට කිසිදු පිළියමක් සිදු නොවූ අතර, කරුක්කාකුලම් හි මෙම ගොවි ප්‍රජාව තුළ අමනාපකම් (සාමූහික මට්ටමින් ඇතිවූ කළකිරීමක් හා එක්ව) වර්ධනය විය.


මෙය මෙසේ තිබියදී, 2021 දී, SEDR ප්‍රදානයන් තුලින් ලද ප්‍රතිපාදන සමගින් ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් සඳහා FIRM විසින් ක්‍රියාත්මක කරන ලද විකල්ප ආරවුල් නිරාකරණය (ADR[2]) පිළිබඳව පුළුල් පුහුණු වැඩසටහනක් ආරම්භ විය. ප්‍රවීණයන්ගේ සහ ක්ෂේත්‍ර කාර්යමණ්ඩලයේ ප්‍රායෝගික සැසි සහ මගපෙන්වීම හරහා, තරුණයින්ට තම ප්‍රජාවන් තුළ ඇති ආරවුල් හඳුනා ගැනීමට සහ විශේෂිත ප්‍රජා මූලික කාර්යයන් හරහා අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව ඒවා නිරාකරණය කිරීමට, පුහුණු කරන ලදී. ඒසේම, මන්නාරමේ දී වලර්මතී ප්‍රජා මධ්‍යස්ථානයට අනුයුක්ත තරුණ කැල මෙයාකාරයෙන් පුහුණු කර නැවත කරුක්කාකුලම් වැනි ගම්වලට යවන ලදී. එක් තරුණ කණ්ඩායමක් සබරිමුත්තු සහ ඔහුගේ ගොවි සංවිධානය මුණගැසුණු අතර, ඉන් පසුව, ගොවීන්ගේ මෙම වාරිමාර්ග ආරවුල පිළිබඳව දැන ගත්හ. මෙම ගැටළුව විසඳීමට ගත් උත්සාහයේදී , පුහුණුව ලද තරුණ ප්‍රජාව, ගොවි සංවිධානය සහ ඉඩම අත්පත් කරගත් ගොවියා අතර FIRM මගින් පහසුකම් සපයන ලද) උපදේශන සැසි මාලාවක් සිදු විය.

තරුණ කණ්ඩායමේ සාමාජිකයින් ඔවුන්ගේ ADR දැනුම සහ කුසලතා භාවිතා කරමින් සිදුකළ බොහෝ සාකච්ඡා සහ උපදේශනවලින් පසුව, ගොවියා අවසානයේදී අයථා ලෙස අත්පත් කරගත් ඉඩම අත්හැරීමට එකඟ විය. මෙම උපදේශනවල කොටසක් ලෙස සහ සැමට ජය ලැබෙන ප්‍රවේශයක් ලෙස; මුළු ප්‍රජාවටම ප්‍රයෝජනවත් වන ප්‍රජාව සතු විසඳුමක් වන, දැන් හානි වී ඇති වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සාමූහික එකඟතාවයක් මතු විය.


FIRM වෙතින් ලද කුඩා ප්‍රජා මුලපිරීම් ප්‍රදානයක් සහ ගොවි සංවිධානයේ දායකත්වයෙන්, කැණීම් යන්ත්‍රයක් භාවිතා කර අතහැර දමා තිබූ ජලසම්පාදන වාරිමාර්ගය එය අවහිර කරමින් වැඩුණු වෘක්ෂලතාදිය ඉවත්කරමින් හෑරූ අතර, ඉඩම අවහිර කරමින් නිර්මිත වැටවල් ද ඉවත් කරන ලදී. තවද, ප්‍රදේශවාසී ගොවීන් තම ට්‍රැක්ටර් යොදා ගනිමින් ඉවත දමන පස් සහ සුන්බුන් ඉවත් කිරීමට ප්‍රායෝගිකව සම්බන්ධ වූ අතර, ඔවුන් විසින් එම භූමිය මනාව එළිපෙහෙළි කරන ලදී.


මෙම ක්‍රියාකාරකම ධනාත්මක ප්‍රතිඵල ලබා දුන්නේය: වැටවල් නැවත මුල් ස්ථානයට ගෙන යාමත් සමඟම, ස්වභාවික ජල ප්‍රවාහය ප්‍රතිස්ථාපනය කරන ලද අතර, සබරිමුත්තුගේ පාලනය හරහා යාබද ගොවීන්ගේ වී වගාවන්ට කාලෝචිත හා ප්‍රමාණවත් ජලසැපයුමක් ලබා ගැනීමට ඉඩ සලසන ලදී. දශකයකට ආසන්න කාලයක් පැවති ප්‍රාදේශීය ප්‍රජා ආරවුලක් සමථයකට පත් වූ අතර, ගමේ ගොවීන්ට ඊළඟ වගාව සඳහා මෙම ජලය භාවිතා කරමින් වගා කළ හැකි කුඹුරු ඉඩම් අක්කර 70 ත් 80 ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට හැකි විය.


සබරිමුත්තු සහ ගොවි සංවිධානය මෙම ප්‍රතිඵලය ගැන සතුටට පත් වූවා පමණක් නොව, නොවිසඳෙන අයුරින් තිබූ මෙම ආරවුල අවසානයේ නිරාකරණය කිරීමට ADR ක්‍රම යොදා ගත් තරුණ තරුණියන්ට තම කෘතඥතාවද පළ කළහ.



[1] කරුක්කාකුලම් යනු බහු වාර්ගික සහ බහු සංස්කෘතික ප්‍රජාවක් වාසය කරන ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පිටිසර ගම්මානයකි. ඔවුන්ගෙන් බහුතරයක් ගොවියන් වෙති.


[2] මෙම සන්දර්භය තුළ ‘ADR’ යන්නෙන් විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රමය (අධිකරණක්‍රියාවලිය) ට සම්බන්ධ නොවීප්‍රජා මට්ටමේ ආරවුල්/ දුක්ගැනවිලි/ගැටුම් නිරාකරණය සඳහා ප්‍රාදේශීය ක්‍රියාකාරීන් විසින් පහසුකම් සපයන අවිධිමත් යාන්ත්‍රණයන් හෝ ක්‍රියාවලීන්හැඳින්වෙයි.

25 views0 comments

Comments


bottom of page