top of page
sakshiselvanathan

අඩ්ඩාලචේනයි ප්‍රදේශයේ සමගිය ගොඩනැගීම


මම මොහොමඩ් ෆාරුක් නජීත් (28). මම අම්පාර, අඩ්ඩාලචේනයි[1] ප්‍රදේශයේ 'ජීවිතයේ සිහින' නම්වූ SEDRxActiveCitizens[2] ව්‍යාපෘතියට නායකත්වය දුන්නෙමි. වසර ගණනාවක් තිස්සේ ආරවුල්වලින් බෙදී සිටින අපේ ප්‍රජාව එකට එකතු කිරීම අපේ අරමුණ විය.

 

යුරෝපා සංගමයේ අරමුදලින් ක්‍රියාත්මක කෙරෙන SEDR ව්‍යාපෘතිය සහ අපගේ දේශීය හවුල්කරු වන මුස්ලිම් ඒඩ් ශ්‍රී ලංකා (MASL) සමග එක්ව, SEDR Active Citizens වරුන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක කොටසක් ලෙස විකල්ප ආරවුල් නිරාකරණය (ADR) පිළිබඳ පුහුණුවක් මා ලබා ගත්තෙමි. ආරවුල් හඳුනා ගැනීමට, ඒවායේ මූල හේතු ක්‍රමක්‍රමයෙන් ආමන්ත්‍රණය කිරීමට, ඒවා නිරාකරණයට මාර්ග සෙවීමට සහ සැමට ජය ගෙනෙන විසඳුම් සෙවීමට උත්සාහ කිරීමට, මෙම පුහුණු වැඩමුළු මට උපකාර විය. අපගේ ප්‍රජාව තුළ ආතතීන් ඇති කරන ගැටළු තේරුම් ගැනීමටද මෙම පුහුණුව මට උදව් විය.

 

මෙම නව දැනුම හා කුසලතා ක්‍රියාවට නැංවීම සඳහා අපගේ Active Citizens කණ්ඩායම අවධානය යොමු කළේ, පසුගිය කාලය තුළ ඉඩම් ආරවුල් සහ දේශපාලන දුක්ගැනවිලි හේතුවෙන් ඔවුනොවුන් අතර ගැටලු රැසක් ඇති වූ අසල්වැසි පාලමුනේ හා ඔලුවිල්[3] ගම්මානවල පදිංචි මුස්ලිම් ප්‍රජාවන් දෙකක් කෙරෙහිය.

 

අපගේ ගැටළු විශ්ලේෂණයෙන් හෙළි වූයේ ප්‍රජාවේ වැඩිහිටියන් අනෙක් ගමේ වැරදි නැවත නැවත පුනපුනා  කීම නිසා මිනිසුන් කෝපයට පත්වී ඇති බවයි. එක ගමක් බෙදුම්වාදී කණ්ඩායමක මූලස්ථානය වන්නේ යයි  කටකතා පතුරවමින් පවා, ආරවුල් සක්‍රීයව තබා ගැනීමට දේශපාලනඥයන් කටයුතු කරන බව හිටපු ග්‍රාම නිලධාරීවරයාගෙන්[4] ද අපට දැනගන්නට ලැබිණි. මෙම බිය සහ සාවද්‍ය තොරතුරු නිසා ගම් දෙකේ මිනිසුන් අතර අවිශ්වාසය ඇතිවී ඇති අතර, සමහර අවස්ථාවල ප්‍රචණ්ඩත්වය පවා ඇති විය.

 

2010 වර්ෂයේදී ප්‍රාදේශීය සභාව පාලමුනේ හි මායිම් නියමාකාරයෙන් සලකුණු කිරීම සඳහා ගම් නාම පුවරුවක් දැමීමට උත්සාහ කළ නමුත් ඔලුවිල් ප්‍රදේශයේ ජනතාව එයට අකමැති වී එය ඉවත් කළේ තත්වය නරක අතට හරවමිනි. විශේෂයෙන්ම කොවිඩ්-19 සමයේ, සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය සභාවෙන් වැඩි සම්පත් ප්‍රමාණයක් පාලමුනේ ප්‍රදේශයට ලැබුණු බව අසල්වැසි ගම්මානයට හැඟී ගියේ ඔවුන්ට අධික ජනගහනයක් සහ ඉහළ දේශපාලන සහයෝගයක් තිබූ බැවිනි.

 

අපගේ ADR පුහුණුවේ කුසලතා උපයෝගී කරගනිමින් මෙම ප්‍රජාවන් සමීප කරවීම අරමුණු කරගත් අපි, මූලික අවිශ්වාසය හා සැකයන් මධ්‍යයේ වුවද, ප්‍රදේශයේ තරුණ තරුණියන් සම්බන්ධ කර, මුස්ලිම් පල්ලිවල නායකයින් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් සමග සංවාද සංවිධානය කළෙමු. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව, පළාතේ තරුණ හා වැඩිහිටි ප්‍රජාව මෙන්ම සිවිල් සංවිධාන සහ ප්‍රාදේශීය දේශපාලඥයන් සම්බන්ධ කරගනිමින් ගැමි සම්ප්‍රදායන් මත පදනම් වූ සංස්කෘතික වැඩසටහන් අප විසින් සාර්ථකව පවත්වන ලදී. වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය, මෙම ගම්මාන පොදු ඉලක්කයක් කරා තවදුරටත් ඒකාබද්ධ කිරීමට කටයුතු කළේය.

 

ප්‍රජාවන් දෙක අතර විශ්වාසය ගොඩනැගීමේ එක් වැදගත් පියවරක් වූයේ, ගම්මාන දෙකෙහිම සහ අඩ්ඩාලචේනයි නගරයේ තරුණතරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත වූ තරුණ සංහිඳියා කමිටුව නිර්මාණය කිරීමයි. ADR ක්‍රම සහ ප්‍රවේශයන් පිළිබඳ පුහුණුවක් කමිටු සාමාජිකයින් ලබා ගත් අතර, ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණය කරගන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමට සහ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඔවුන්ගේම හැකියාව ගොඩනඟාගත්හ. ප්‍රජාවේ ගැටලු නිරාකරණයට උපකාරීවීම වස්, ඔවුන්ගේ අත්දැකීම් භාවිතා කරමින් මග පෙන්වීම් ලබාගැනීම අරමුණු කරමින්, තරුණ සංහිඳියා කමිටු සාමාජිකයින් අඩ්ඩාලචේනයි ප්‍රජා සමථ මණ්ඩලය සමග සමීපව කටයුතු කළේය.

 

අපගේ සමාජ ක්‍රියාව ක්‍රියාත්මක කිරීම සැමවිටම පහසු නොවීය. අපි අභියෝගවලට මුහුණ දුන් නමුත්, මුස්ලිම් ඒඩ් ශ්‍රී ලංකා සහ අපගේ උපදේශකයින්ගේ සහාය ඇතිව, අපි ඉදිරියට ගියෙමු. ආපසු හැරී බලන විට, අප ඉටුකර ගත් දේ ගැන මම ආඩම්බර වෙමි. ගැටුම්කාරී කණ්ඩායම් අතර වඩා හොඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කරන විට, ප්‍රජාවන් එකට එකතු වන අතර, මෙය ඔවුන්ට දුෂ්කරම අභියෝග පවා ජය ගැනීමට හැකියාව ලබාදෙන බව, අප මෙහි සිදුකළ කර්තව්‍යය පෙන්නුම් කරයි.


[1] අඩ්ඩාලචේනයි යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා නගරයකි.

[2] Active Citizens යනු ප්‍රජා මට්ටමේ ආරවුල් විසඳීමේදී විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්ට සහාය වීම සඳහා SEDR හි ප්‍රවේශයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අන්තර් සංස්කෘතික සංවාදය සහ ප්‍රජා මූලික සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කරන සමාජ නායකත්ව පුහුණු ක්‍රමවේදයකි.

[3] පාලමුනේ සහ ඔලුවිල් යන දෙකම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුඩා ගොවි ගම්මාන වන අතර, ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ සහ ධීවර කටයුතුවල නියැලී සිටී.

[4] ‘ග්‍රාම නිලධාරීවරයා’ යනු ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ පරිපාලකයකු වන අතර, සීමා නිර්ණය කළ යම් ප්‍රදේශයකට වගකියයි.

14 views0 comments

Comments


bottom of page